දැක්ම

මහජන බැඳියාව සහ වගවීම සඳහා කැප වූ විශිෂ්ට විගණන සේවයක්

මෙහෙවර

වෘත්තීයමය භාවය, නිපුණත්වය සහ යහපාලනය පෙරදැරි කර ගත් රාජ්‍ය විගණන සේවයක් ස්ථාපනය කිරීම තුළින් රාජ්‍ය සම්පත්වලට වගවීම සහතික කිරීම

අපගේ අගයන්

  • ස්වාධීනත්වය
  • අපක්ෂපාතීත්වය
  • අවංක භාවය
  • නවෝත්පාදනය
  • පාරදෘශ්‍යභාවය
  • වගවීම
  • වෘත්තීය නිපුණත්වය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII වන පරිච්ඡේදයේ 153 අ (1) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණන සේවා කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (1) ව්‍යවස්ථාව අනුව විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා විය යුතු විගණකාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු පහත දැක්වෙන සාමාජිකයන්ගෙන්ද කොමිෂන් සභාව සමන්විත වන්නේය.

  • නියෝජ්‍ය විගණකාධිපති හෝ ඊට ඉහළ ධුරයක් උසුලන ලද විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ලත් නිලධරයන් දෙදෙනෙකු
  • ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ විශ්‍රාම ලත් විනිශ්චයකාරවරයකු
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාම ලත් I වන පන්තියේ නිලධරයකු

විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්යයන් සහ කර්තව්‍යයන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (1) ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින් පත් කිරීම්, උසස් කිරීම්, මාරු කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමේ බලය විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ඇ (2)  (අ) ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි අමාත්‍ය මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ප්‍රතිපත්තිවලට යටත්ව ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයට අයත් සාමාජිකයින්ගේ සේවයට බඳවා ගැනීමේ පටිපාටි, පත් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම්, විනය පාලනය හා සේවයෙන් පහ කිරීමට අදාළ රීති සකස් කිරීමේ බලයද කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

තවද නීතිය මඟින් ස්ථාපිත ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික ඇස්තමේන්තුව සකස් කිරීම සහ නීතිය මඟින් සලකනු ලබන පරිදි වූ වෙනත් බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීමේ බලය ද විගණන සේවා කොමිෂන් සභාව වෙත පැවරී ඇත.

විගණන සේවා කොමිෂන් සභාව, අංක 35 / ඒ, ආචාර්ය එන්.එම්. පෙරේරා මාවත, කොළඹ 08.                                                

 

+94 112 689 179
+94 112 689 179